දක්ෂතාවයේ විභවය අලෙවිකරණයෙන් රැකගැනීමේ අවශ්‍යතාවය

තරගය පැවැත්වෙන අතරතුර අපගේ බලාපොරොතුතුව වූයේ ද කිංස්වුඩ් ජයග්‍ර‍හනයකි. නමුත් තරගයෙන් අනතුරුව ප්‍රකෘති දිවියට පැමිණිය යුතු නිසා මෙම සටහන “කිංස්වුඩ් මැටර්ස්” වෙත ඉදිරිපත් කොට ඇත.

 

කිංස්වුඩ් විදුහලේ කීර්ති නාමයත් ඔහුගේ හැකියාවත් සිරස රූපවාහිනියේ සුපර් ෆයිටර් නරඹන සැම ඇතුලු අනෙක් ලංකාවාසී සැම අතර බැබලවීමට හැකිවීම ගැන ලසිත් දසනායක බොක්සිං ක්‍රීඩක සොයුරා ගැන සතුටක් ඇතිවේ. එහි කිලෝග්‍රෑම් 52 බර පන්තියේ අනුශූරයා (හොදම පරාජිතයා) ලෙස ඔහු ස්ටුඩියෝ එකක් තුල, කෙටි පණිවිඩ ද, නදිනි ප්‍රේමදාස නැමැති සීසන් එකකට පමණක් හිට් වූ සුපර් ස්ටාර් ද ඇතුලු “මීඩියා වීර” විශේෂඥ මත අතරින් ද ගොස් මෙම අනුශූරතාවය දිනා ගැනීම ද වැදගත් වේ. එය වැදගත් වන්නේ වෙන හේතුවක් නිසා නොව, ලසිත් අනුශූරයා වූයේ ද, අනෙක් අය එස්.එම්.එස් ඡන්ද දැම්මේ ද බොක්සිං තරගයක මුවාවෙන් පැවැත්වූ මාධ්‍ය සංදර්ශනයකට වීම නිසාය. අපේ එදිනෙදා ජීවිතය මෙවැනි සංදර්ශන මාලාවක අන්තර් වියමනක් ද වන නිසා මෙහිදී ලසිත් ට වැරැද්දක් පැටවීමක් වන්නේ නැත. අනෙක් අතට, තම දක්ෂතාවය උරගා බැලීමට ලැබුනු අවස්ථාවක් උපරිමයට යොදා ගැනීම තුලින් ලසිත් ජයග්‍රහනයක්ම ලැබුවා යැයි තර්ක කිරීමට ද හැක.

සිරස බොක්සිං තරග‍යේ අනුශූරයා වූ ලසිත් කිංස්වුඩ් විදුහලේ දී පිලිගැනුනේ තූර්ය වාදක කණ්ඩායමේ නාදය ද අතරිනි. ඉහල පාලන තන්ත්‍රය ඉතා නිහතමානීව ප්‍රධාන ගේට්ටුව අසලටම පැමිණ ඔහුව පිලිගත්හ. විශේෂ උත්සවයක් ද පැවැත්වුනු අතර, කිංස්වුඩ් බොක්සිං ෆේස්බුක් පේජ් එක එහිදී ලසිත් ව හැදින්වූයේ උත්සවයේ “ප්‍රධාන අමුත්තා” වශයෙනි. මෙම “ප්‍රධාන අමුත්තා” ගමන් කරන මාර්ගය දෙපස අත්පොලොසන් දෙමින් කණිෂ්ඨ ශිෂ්‍යයෝ රදවා තිබුණි. මේ හා සමාන පිලිගැනීමක් ජයමාල් විතානගේ යටතේ තරග කළ කිංස්වුඩ් රගර් කණ්ඩායමට 2001 වසරේදී ලැබුණි. එම කණ්ඩායම පෑ වික්‍රමය නම් “බී” කොටසින් තරග කර ජනාධිපති කුසලානය කිංස්වුඩ් ඉතිහාසයේ මුල් වරට දිනා ගැනීමයි. තූර්යවැයුමක් නොතිබුණු නමුත් ප්‍රධාන ශාලාවේදී උත්සවශ්‍රීයෙන් පිලිගැනීමක් සිදුවිනි.

1991 වසරේදී ද මේ හා සමාන පිලිගැනීමක් සිදුවුනි. ඒ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමට ලෝකඩ පදක්කමක් දිනූ (කිංස්වුඩ් විදුහලට කේවල තරග ඉසව්වකදී ඉහලම ගෞරවය ගෙනදුන් බවට තර්ක කල හැකි) අසේල විජේවික්‍රම ක්‍රීඩකයා පිලිගැනීම පිණිසයි. අසේලගේ ජයග්‍රහනය කලාපයේ රටවල් හතක ක්‍රීඩකයින් සමග වන අතර, 2001 දී රගර් කණ්ඩායම එම වසරේ හොදම පාසල් රගර් කණ්ඩායම් අට සමග “බී” කාණ්ඩයෙන් පැමිණ තරග කලේය. අද, 2014 දී ලසිත් සොයුරා සිරස රූපවාහිනී බොක්සිං තරගයේ අනුශූරයා වී යථෝක්ත අවස්ථා හා සමාන ම පිලිගැනීමකින් පිදුම් ලබයි. මෙහිදී ඉහත අවස්ථා තුන හරහා පැහැදිලි වෙන කරුණු දෙකක් තිබේ. එකක් නම්, එක්කෝ මෙම වසර විසිතුනක කාලරාමුව හරහා කිංස්වුඩ් විදුහල සාපේක්ෂව වඩා “ප්‍රජාතන්ත්‍රවාදී” පාසලක් වී ඇති බවයි. අන්තර්ජාතික ශූරයාගේ මල්මාලය ම ජනප්‍රියවාදී ටෙලිවිෂන් තරගයේ අනුශූරයාටද වෙන්කර ඇති බවයි (මෙය ලසිත්ගේ ජයග්‍රහණය ගැන විමසුමක් නොවන බව නැවත උච්චාරනය කලයුතුයි). එය එසේ නොවේ නම්, මෙම අවස්ථා තුනෙන් ගම්‍ය කරගත හැකි තවත් කරුනක් ලෙසට තර්ක කල හැක්කේ කිංස්වුඩ් විදුහලේ “විශිෂ්ටත්වය” මැනීමේ කෝදුවේ මෘදුකාංග ගෙවීගොස් ඇති බවකි. නැත්නම්, මාධ්‍ය විසින් මවනු ලබන විජ්ජා ජ‍ාලයේ ෆැන්ටසිකරණය තුල විද්‍යාලය ද අතරමං වී ඇත් ද?

Lasith's friends and fans congratulating him after his achievement.
Lasith’s friends and fans congratulating him after his achievement.

අපට අසන්නට ඇති අදාලම ප්‍රශ්ණය වන්නේ මෙතැන් සිට ඕනෑම බාහිර හෝ අධ්‍යාපනික ක්‍රියාකාරකමකින් ජාතික මට්ටමේ අනුශූරතාවක් හෝ ඉන් ඉහල ස්ථානයක් ලබාගත් අයෙකුට මෙවැනිම පිලිගැනීමක් — බෙර ගසා, මල්මාල දමා, උත්සවයක් තබා — කරනවාද යන්නයි. නැතිනම්, මෙම පිලිගැනීම මේ ආකාරයෙන් සිදුවූයේ ලසිත් තරග කලේ රූපවාහිනී මාධ්‍යයක් මෙහෙය වූ සන්දර්ශනාත්මක බොක්සිං වළල්ලක වීම නිසාද? මෙම ප්‍රශ්ණයට පිලිතුර “ඔව්” යන්න නම් අපි අපගේ ප්‍රමුඛතාවයන් හා වටිනාකම් ගැන අප විසින්ම කරගත යුතු ප්‍රශ්ණාවලියක ආරම්භය ද එයම වේ. එය පෞද්ගලික වූ ද, ආචාර ධර්මීය වූද ප්‍රශ්ණ කිරීමකි. එය ලසිත්ගේ මට්ටමින් කෙරෙන්නේ නම් “නාමික” බොක්සිං තරගයකට තම ශක්තිය හා ආත්මය වමාරමින්, මාධ්‍ය විසින් තමාට එන්නත් කරනු ලැබූ ලංසුවකට අලෙවි වෙමින් තමා ලබන “ජනප්‍රියතාවය” කොතරම් තම හෘදසාක්ෂිය හා අනුරූප වෙනවාද යන්න විවාදයට බදුන් කල යුතුය. මෙම තරගයට ඇතුලුවීමෙන් ම ලසිත් මෙම ප්‍රශ්ණය නිරාකරනය කර දී තිබේ. එසේ නැතිනම් එවැනි ප්‍රශ්ණ කිරීමක් අවශ්‍ය නැතැයි ද, වෘත්තීය ක්‍රීඩකයින් පවා අලෙවිකරණය වන බැවින් මේ නැගී එන ක්‍රීඩකයා පරිභෝජන ජාලයකට මෙසේ ඇතුලත් කිරීමේ වරදක් නැතැයි ද සිතන්නෝ සිටිය හැක.

වඩා වැදගත් ආත්මකථනය කරගත යුත්තේ විද්‍යාලයයි. ඒ, අප අගයන සහ ඇගයුම් ලෙස අපේම සොයුරන් හා බෙදා හදා ගෙන ආත්මගත කරගතයුතු වටිනාකම් හා හර පද්ධතීන් සම්බන්දවයි. අපේ එදිනෙදා වැඩකටයුතු ඉහත කී පරිභෝජනවාදී ජාලයක නැවත නැවත වෙලෙමින් පවතින තත්වයකදී එම තත්වයන් හදුනාගැනීමටත්, ඒ හා ඵලදායී ගනුදෙනුවක නියැලීමට ශිෂ්‍යයා යොමුකරවීමත් විද්‍යාලයක වගකීමයි. අපගේ උනන්දුව වියයුත්තේ පරිභෝජනවාදයෙන් බඩජාරී වුනු මාධ්‍ය භාවිතයකින් සුරුවම් කෙරෙන “සුපිරි තරු” බිහිකර ගැනීමකට වඩා විචාරශීලී හා තීක්ෂන ලෙස මොලය‍ට තට්ටු කර වැ‍ඩක් කල හැකි “පොලව දෙසට නැමුනු” සිසු කැලක් වඩා ගැනීමය. එය ලසිත් වැනි විභවයක් ඇති ක්‍රීඩකයින්ට ද වඩා “ක්‍රීඩාශීලී” පෞරුෂයක් ඇතිකර ගැනීමට ඌනපූර්නයක් සපයනු ඇත. “සුපර් ස්ටාර්” මානසිකත්වයකින් බාල්දු කෙරුනු රටක අවිචාරශීලීව ඒ දෙසටම අපද යනවා නම් ඒ ගැන වඩා වැදගත් ස්වයං-විවේචනයක් අවශ්‍ය වේ. විද්‍යලයේ ඉතිහාසය හා බැදී පවතින අල්පේච්ඡ බව හා නිහතමානී ගුණාංග එවැනි විවේචනයක “අදාලතාවය” ගැන අපට බල කරයි.

අසේල විජේවික්‍රම උපහාරයට පසු අවුරුද්දේ, 1993 දී, අයි.එන් හේවාවසම් “මීහරකා” නම් සිනමා නිර්මාණයක් මුදා හරියි. ලින්ටන් සේමගේ හා ස්වර්ණා මල්ලවආරච්චි රංග නිරූපණය කරන එය මානසික වශයෙන් නොවැඩුනු, පිටිසර ගැමි කොල්ලෙක් වටා ගෙතුනකි. කිසිදු අධ්‍යාපනයක් නොලත් ඔහු මීහරක් බලාගෙන ජීවිකාව ගෙන යයි. නගරයේ සිට එන බස් රියදුරෙකු හා ගෝලයෙකු මොහුගෙ “නොදන්නාභාවය” හරහා අඩුවෙන් මුදල් ගෙවා මී කිරි මිලදී ගනී. කොල්ලා සතුටු කිරීම‍ට සිගරට්, වැල පත්තර ආදිය ද සපයයි. මෙම “සූරාකෑම” දිගටම සිදුවෙන අතර තමාට සිදුවන ආර්ථික හෝ ආධ්‍යාත්මික අහේනිය දැකීමට තරම් විඥානයක් මීහරක් බලන කොල්ලාට නැත. චිත්‍රපටය අවසානයේ දී කොල්ලා සියදිවි නසාගැනෙන අවස්ථාවක් වේ. චිත්‍රපටය අවසන් වන්නේ බස් රථය නැවත ගමට එන දර්ශනයකිනි. මීකිරි විකිණීමට වෙනත් කොල්ලෙක් බස් රියදුරා හා ගෝලයා සොයාගත් බවක් ප්‍රකාශ වේ. වැල පත්තරය දැන් ඔහුගේ සන්තෝසම බවට පත්වේ. “සුපර් ස්ටාර්” සංස්කෘතියේ කෙටි ඉතිහාසය විමසා බැලීමේදී බස් ගෝලයින් දෙදෙනා හා සිරස “ස්ටාර් මේනියාවේ” වෙනසක් නැත්තේය. සිගරට් එක, පත්තරය වෙනුවට මුදල්, ත්‍යාග හා “නොමිලේ ගුවන්ගත වීමේ අවස්ථාවක්” මෙන්ම ප්‍රචාරනයක් ද ලබා දෙනු ලැබේ. ඔබේ “ජනප්‍රියතාවයේ මිනිත්තු පහලොව” ඒ හරහා ලැබෙනු ඇත. අපගේ අධ්‍යාපනයේ හරය විය යුත්තේ මෙම අරාජිකත්වය විනිවිද යාම‍ට නිර්මාණාත්මක ක්‍රමවේදයන් ගවේෂණය කිරීමයි. පත්තරයට, සිගරට් එකට අපගේ හැකියාව හෝ මී කිරි හට්ටිය හෝ විකුණා දැමීම නොවේ.

2 thoughts on “දක්ෂතාවයේ විභවය අලෙවිකරණයෙන් රැකගැනීමේ අවශ්‍යතාවය

  1. Kingswood western band has won all island cadet western band trophy three four times in 2000, 2006,2007 and 2009 but no one was there to wish them.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s